You are on page 1of 7

ස්වාධීන පර්යේෂණයකට වැදගත් උපදෙස් කිහිපයක්

දර්ශන විෂය හදාරන විද්‍යාර්ථයින් විසින් ස්වාධීන පර්යේෂණ නිබන්ධය සිදු කිරීමේදී මුහුණපානු ලබන
විවිධ ගැටලු නිරාකරණය කරගැනීමට උපකාරී වන උපදෙස් කිහිපයක් ඉදිරිපත් කිරීමට හේතු පාදක
වූයේ මේ සම්බන්ධව පෞද්ගලිකව මා විසින්ද විවිධ ව්‍යාකූල අත්දැකීම් ලබා අැති නිසා මෙන්ම මෙය
ක්ෂේත්‍රයේ බොහෝ විද්‍යාර්ථයන් මුහුණපාන අභියෝගයක් වන බැවිනි.නමුත් මා එවැනි උපදෙස්
ලබාදීමට තරම් මෙකී ක්ෂේත්‍රයේ විෂය ප්‍රවීණයෙකු නොවන බව මුලින්ම සිහිපත් කරනු
කැමැත්තෙමි.නමුත් ස්වාධීන පර්යේෂණයේදී සිසුන් මුහුණපානු ලබන පොදු ගැටලු පිළිබඳ කිසියම්
අවබෝධයක් මා විසින් තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන
අධ්‍යයනාංශයෙහි කටයුතු කරන අතරතුර මෙන්ම ඉන් පසුවද ලැබුවෙමි. එබැවින් මේ සම්බන්ධව මා සතු
අත්දැකීම් තුළින් කිසියම් රුකුලක් දීමට කල්පනා කළෙමි. මේ කෙරෙහි දර්ශනපති උපාධියෙහි ස්වාධීන
පර්යේෂණය සිදු කරමින් සිටින මා ලාංකීය තර්ක ශාස්ත්‍රය විෂයෙහි පුරෝගාමියා වන මහාචාර්ය අාර්.ඩී.
ගුණරත්න ගුරු පියාණන්ගේ උපදේශකත්වය යටතේ ලබන අත්දැකීම් ප්‍රබල වශයෙන් බලපාන ලද බව
ගෞරවපූර්වකව සිහිපත් කරමි.
කිසියම් විෂයක විශේෂවේදී උපාධියක් හදාරනු ලබන විද්‍යාර්ථයන් විසින් අවසන් වසරේදී එකී විෂයට
අදාළව ස්වාධීන පර්යේෂණයක් සිදු කළ යුතුය. එය අවසන නිබන්ධයක් ලෙස හෝ පර්යේෂණ
වාර්තාවක් ලෙස ඉදිරිපත් කළ යුතුය. දර්ශන විෂය හා අදාළව එය නිබන්ධයක් ලෙස ඉදිරිපත් කිරීම
සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේදයයි.
මෙහිදී පර්යේෂණයක් සිදු කිරීමට ප්‍රථම සිදු කළ යුතු වැදගත් කාර්යයන් කිහිපයක් පවතී. එනම්, එක
එල්ලේ පර්යේෂණයක් සිදු කළ නොහැක. විද්‍යාර්ථයින් මේ සම්බන්ධව අවධානය යොමු කරනු
ලබන්නේ බොහෝවිට අවසන් වසර දෙවන සමාසිකය අාරම්භයේදීය. නමුත්, මේ සම්බන්ධ කිසියම්
අවබෝධයක් මෙන්ම කියවීමක් අවම වශයෙන් වසරකට හෝ පෙර සිට පැවතිය යුතුය. වෙනත්
ලෙසකින් කිවහොත් ස්වාධීන පර්යේෂණයක් තෝරා ගැනීමට පෙර කිසියම් විධිමත් අවබෝධයක්, පූර්ව
සූදානමක් පැවතිය යුතුය. එමෙන්ම සාහිත්‍ය විමර්ශනය සඳහා අවශ්‍ය කරුණු ගොණු කරගැනීමට මෙකී
පූර්ව සූදානම ඉතා වැදගත් වේ. අනෙක් අතට කිසිදු කියවීමකින් තොරව පර්යේෂණ ගැටලු සොයා විවිධ
පුද්ගලයන්ගේ උපදෙස් මත පමණක් ක්‍රියා කිරීම කෙසේවත් සුදුසු ක්‍රියාදාමයක් නොවේ. පර්යේෂණයක්
සාර්ථක කරගැනීමට එ් හා සම්බන්ධ විෂය ප්‍රාමාණිකයන්ගේ අදහස් ඉතා වැදගත්ය. නමුත්, තමාගේ
කැපවීම ඊට වඩා වැදගත් වේ. විෂය ප්‍රාමාණිකයා හෝ උපදේශකවරයාගෙන් බලාපොරොත්තු විය
යුත්තේ පර්යේෂණයට අදාළ මඟපෙන්වීමයි. පර්යේෂණය ස්වාධීන වූවක් විය යුතුය. ස්වාධීන බව යනු
තම අභිමතය පරිදි කුමක් හෝ ලියා භාර දීම නොව කිසියම් සැලැස්මකට අනුව තමා විසින් ශාස්ත්‍රීය
කැපවීමකින් යුක්තව ගොඩනගාගත් ගැටලුව නිසි උපදෙස් හා මගපන්වීම මත යම්කිසි ඉහළ තලයකට
ගොඩනැංවීමයි.
පර්යේෂණයක් යනු කිසියම් විෂය පථයක උන්නතිය එනම් එකී විෂය සම්බන්ධ දැනුම් පිරමීඩය
ගොඩනගන්නාවූ ශාස්ත්‍රීය දායකත්වයකි. එය හුදෙක් උපාධිය සම්පූර්ණ කිරීමට සිදු කළ යුතුම වූවක්
විනා නොඑසේනම් කේසේවත් සිදු නොකරන්නක්ය යන අාකල්පය වෙනුවට තමා උපාධිය සම්පූර්ණ
කරනු ලබන විෂයෙහි උන්නතිය වෙනුවෙන් සිදු කළ හැකි එක්තරා අාකාරයක සේවයක් ලෙස
සැලකීමට විද්‍යාර්ථයන් කල්පනා කළ යුතුය. විශ්වවිද්‍යාලයක් වශයෙන් ජාත්‍යන්නර පිළිගැනීමට
ලක්වීමට බලපානු ලබන එක්තරා වැදගත්ම සාධකයක් වන්නේ මෙකී පර්යේෂණ ක්ෂේත්‍රයයි.
ලෝකයම හඳුනාගත් බුද්ධිමතුන්ගේ සාර්ථකත්වයේ ගමන් මාර්ගය වූයේ මෙකී පර්යේෂණයන්ය.
මහාචාර්ය කේ. එන්. ජයතිලක, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි මහා බුද්ධිමතුන් විදේශ
විශ්වවිද්‍යාලයන් වෙතින් හඳුනාගන්නා ලද්දේද ඔවුන් විසින් සිදු කරන ලද පර්යේෂණ නිසාවෙනි.
එසේම පළමු උපාධිය පමණක් නොව පශ්චාත් උපාධි සම්පූර්ණ කිරීමටද ස්වාධීන පර්යේෂණ සිදු
කිරීමට සිදුවේ. එබැවින් ස්වාධීන පර්යේෂණයක් යනු ශාස්ත්‍රීය වශයෙන් කිසියම් උසස් මට්ටමක් කරා
ළඟා වීමට උපකාරී වන මාර්ගයක් වන බව මුලින්ම පැහැදිලි කිරීම යුතුකමක් සේ සලකමි. අනෙක්
අතට ස්වාධීන පර්යේෂණ සිදු කළ යුත්තේ හෝ සිදු කළ හැක්කේ උපාධිය සම්පූර්ණ කිරීමට පමණක්
නොවේ. නව පර්යේෂකයන්ට අාරාධනා කරමින් වර්තමානය වන විට බොහෝ විශ්වවිද්‍යාල සහ උසස්
අධ්‍යාපන අායතන මගින් පර්යේෂණ සම්මේලන සංවිධානය කරයි. මේවායින් ලබන පන්නරය මෙන්ම
සුදුසුකම් සිය වෘත්තීය ජීවිතය තෝරා ගැනීමටද තීරණාත්මක විය හැකිය. අනෙක් අතට රටක අනාගත
ගමන් මග හැසිරවීමේ වගකීමක් උගත් බුද්ධිමත් පුද්ගලයන්ට පවතී. රටක දේශපාලන අාර්ථික සමාජයීය
අාදී වශයෙන් ජන මතය හැසිරවීමට, විද්වත් සාකච්ඡා ගොඩනැගීමට විශ්වවිද්‍යාල ප්‍රජාව වෙත කිසියම්
වගකීමක් අැත. සාමාන්‍ය පුද්ගලයා කිසිදු දේශපාලන විඤ්ඤාණයකින් තොරව මැතිවරණ තුළදී කටයුතු
කිරීමෙන් දේශපාලනික වශයෙන් රටට විය හැකි අගතිය අතිමහත්ය.එවැනි විටක එ් පිළිබඳ වගකීම
සියල්ලන්ට දැරීමට සිදුවන බැවින් විද්වත් සාකච්ඡා මගින් පොදුජනයා දැනුවත් කිරීමට විශ්වවිද්‍යාල
ප්‍රජාවට වගකීමක් හිමිවේ. රටේ සමකාලීන ගැටලු බොහොමයකට එක් හේතුවක් ලෙස මෙවැනි
විද්වත් සංකථන නොමැති වීමද බලපා අැත. එ් අනුව විවිධ පර්යේෂණයන් හරහා එ්වා පිළිබඳ ක්ෂේත්‍රය
තුළ කතිකාවන් අැති කළ හැකිය. විවිධ මතවාද ගැටීමෙන් නව මතවාද අැතිවන බව කාල් මාක්ස් විසින්ද
අවධාරණය කොට අැත. අතීතයේ විශ්වවිද්‍යාල පරිසරය තුළ මෙවැනි විදග්ධ ගණයේ සංකථන
බොහොමයක් පැවති බව අපගේ ගුරුවරු පවසා අැත. බොහෝවිට විශ්වවිද්‍යාල බුද්ධිමතුන් විසින්
පන්නරය ලබා අැත්තේ මේ තුළිනි. එ් අනුව ස්වාධීන පර්යේෂණයක් යනු හුදෙකලා ක්‍රියාකාරකමක්
නොව එය නිසි පරිදි සිදු කිරීම ස්වකීය විෂයට, අධ්‍යයනාංශයට, විශ්වවිද්‍යාලයට මෙන්ම සමස්ත
සමාජයටම බලපෑ හැකි වැදගත් කාර්යයකි.
මෙවැනි විවරණයක් මුලින්ම ඉදිරිපත් කිරීමට හේතුව ස්වාධීන පර්යේෂණයක අැති වටිනාකම හා
එමගින් අැති ප්‍රයෝජන ඉස්මතු කිරීමය.
ස්වාධීන පර්යේෂණයක් යනු කිසියම් ක්ෂේත්‍රයක දැනුම් පිරමීඩයෙහි ගඩොලක් සවි කරනු හා සමානය.
එ් අනුව ස්වාධීන පර්යේෂණයක් තෝරා ගැනීමේදී මුලින්ම කිසියම් නිශ්චිත ක්ෂේත්‍රයක් හඳුනාගැනීම
වැදගත්ය. දර්ශන විෂයට අනුව සලකා බලන කල දර්ශනයෙහි ප්‍රධාන උපවිෂය ක්ෂේත්‍ර කිහිපයකි. එ්වා
නම්,
ඥානවිභාගය
සත්භවවේදය
අාචාරවිද්‍යාව
තර්ක ශාස්ත්‍රය

මීට අමතරව දර්ශනයේ අනු විෂය ක්ෂේත්‍ර ගණනාවකි. එ් අතර,


සෞන්දර්ය දර්ශනය
අාගමේ දර්ශනය
මනෝවිද්‍යාව
සමාජ විද්‍යාවේ දර්ශනය
විද්‍යාවේ දර්ශනය
ගණිතයේ දර්ශනය
භාෂාවේ දර්ශනය
දේශපාලන දර්ශනය
අාදී වශයෙන් ක්ෂේත්‍රයන් බොහොමයකි.
මේ අනුව ස්වාධීන පර්යේෂණයකට අදාළව තමා කිසියම් රුචිකත්වයක් දක්වන ක්ෂේත්‍රයක්
තෝරාගැනීමේ නිදහස විද්‍යාර්ථයාට අැත. එහිදී මෙකී ක්ෂේත්‍ර කිහිපයකටම අදාළ වන පර්යේෂණයක්
අවසානයේ සිදුවිය හැකි අතර එය ගැටලුකාරී වූවක් නොවන බවද සිහිතබා ගත යුතුය. අනතුරුව
පර්යේෂණයට අදාළ ගැටලුවක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
විද්‍යාර්ථයන් විසින් මුහුණපානු ලබන ප්‍රබලතම ගැටලුව මෙය බව කිව හැකිය. මීට හේතුව, මේ පිළිබඳ
නිසි අවබෝධයක් නොමැති වීමයි. පර්යේෂණයක් අාරම්භ කිරීමට පෙර ඔවුන් විසින් බොහෝවිට
සොයන්නේ පර්යේෂණයක් සිදු කිරීමට මාතෘවක්ය. මේ සම්බන්ධ අත්දැකීම් ගණනාවක් අැති බැවින්
මෙසේ පැහැදිලි කිරීම සුදුසු යැයි සිතමි. පර්යේෂණයක් යනු කිසියම් මාතෘකාවක් යටතේ ලියනු ලබන
රචනාවක් නොවේ. කිසියම් මාතෘකාවක් යටතේ රචනා කොට අැති කෘති තුළින් මීට අනුබලයක්
විද්‍යාර්ථයින් ලබන බව මා නිරීක්ෂණය කරමි. පර්යේෂණය නිබන්ධයක් වශයෙන් ඉදිරිපත් කිරීමේදී ඊට
මාතෘකාවක් අවශ්‍ය බව සැබෑය. නමුත්, එය පර්යේෂණය අාරම්භයටත් පෙර තීරණය කිරීම නුවණට හුරු
කරුණක් නොවේ. ගැටලුව ඔස්සේ මාතෘකාවක් අවසන නිර්මාණය කරගත හැකිය. නමුත්
පර්යේෂණයක් සිදු කිරීමට නම් එ් සඳහා සෙවිය යුත්තේ ගැටලුවකි. රචනාවක් ලිවීම ගතහොත් එය
කිසියම් වස්තුවක්, පුද්ගලයෙකු හෝ සංසිද්ධියක් සම්බන්ධව සිදු කරනු ලබන විස්තරයකි. විස්තර
විග්‍රහය සහ ගැටලුවකට පිළිතුරු සෙවීම අතර අැත්තේ විශාල වෙනසකි. මා විසින් සහභාගී වන ලද
එක්තරා පර්යේෂණ සමුළුවකදී දර්ශන විෂයට පරිබාහිර වෙනත් විෂයයක් හදාරන විද්‍යාර්ථයෙකු විසින්
ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක මාතෘකාව වූයේ, “අාහාර අනුභවය පිළිබඳ බෞද්ධ දර්ශනයයි”.
ඔහු එහිදී බුදුන්වහන්සේ විසින් අාහාර අනුභවය සම්බන්ධව දේශනා කර අැති කරුණු පිළිබඳව දීර්ඝ
විග්‍රහයක් සිදු කරන ලදී. නමුත්, පර්යේෂණ සැසියෙහි මුලසුන හෙබවූ එක්තරා මහාචාර්යවරයෙකු
ඔහුගෙන් විමසූ පැනය වූයේ මෙහි පර්යේෂණ ගැටලුව කුමක්ද යන්නයි. පිළිතුරු ලෙස ඔහු පැවසූයේ, “
අාහාර අනුභවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කුමක්ද?” යන්නයි. නමුත්, නැවත මහාචාර්යවරයා විමසූයේ
තේමාව අාහාර අනුභවය පිළිබඳ බෞද්ධ දර්ශනය ලෙස ගෙන ගැටලුව ඉගැන්වීම කුමක්ද යනුවෙන්
විමසන්නේ කෙසේද? යන්නයි. මෙහි පැවති ගැටලුව දළ වශයෙන් මහාචාර්යවරයා විසින් පැහැදිලි
කරන ලදී. එ් අනුව අාහාර අනුභවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කුමක්ද? යනු, කිසියම් විස්තරයක්
ඉදිරිපත් කිරීමට මුල පිරීමකි. එනම් එය ව්‍යාජ පර්යේෂණ ගැටලුවකි. අනෙක් අතට අාහාර අනුභවය හා
සම්බනධව දර්ශනයක් අැත්තේ නැත. එය සම්බන්ධ කළ හැකි දර්ශනයේ අනුශාකාවක් හෝ
සොයාගැනීම දුෂ්කරය. මින් මා හට පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ පර්යේෂණ ගැටලුවක්
තෝරාගැනීමේදී එය දර්ශනයේ කිසියම් කෂේත්‍රයක් නියෝජනය කරන්නාවූ සම්මත ගණයේ ගැටලුවක්
විය යුතු බවයි.
දර්ශනය හදාරන විද්‍යාර්ථයන් වශයෙන් ‘විද්‍යාත්මක ක්‍රමය’ නම් විෂය හැදෑරීමේදී විද්‍යාත්මක
ක්ෂේත්‍රයෙහි පර්යේෂණ සම්බන්ධ පරිච්ඡේදය මෙහිදී සැලකිල්ලට ගතහොත් පරීක්ෂණයක් යනු
කිසියම් ගැටලුවකට පිළිතුරක් සොයාගැනීමට විද්‍යාඥයෙකු විසින් සිදු කරනු ලබන ක්‍රියාදාමය බව
සිහිපත් වනු අැත. විද්‍යාත්මක ක්ෂේත්‍රයක් නොවූවද දර්ශනයේද පර්යේෂණ සිදු වන්නේ කිසියම්
ගැටලුවකට පිළිතුරු සෙවීමක් වශයෙන් බව සිහිතබා ගත යුතුය. දර්ශනය යනු දෙවන ගණයේ ගැටලු
අන්තර්ගත ක්ෂේත්‍රයක් බව දර්ශනය යනු කුමක්ද? යන ගැටලුවට බොහෝ දෙනෙකු විසින් ලබාදෙනු
ලබන පිළිතුරයි. දර්ශනයේ පියා සේ සැලකෙන තේල්ස් විසින් ස්වකීය දර්ශනය මෙහෙයවන ලද්දේ
ලෝකයේ යථාර්ථය කුමක්ද? යන ගැටලුව මුල් කරගෙන බව සිහිපත් කිරීමට කැමැත්තෙමි. මේ අනුව
පර්යේෂකයෙකු සිය පර්යේෂණය දියත් කළ යුත්තේ කිසියම් මාතෘකාවකට අදාළ කරුණු ගොණු
කිරීමක් ලෙස නොව කිසියම් ගැටලුවක් මුල් කරගෙන බව අවධාරණය කරනු කැමැත්තෙමි.
පර්යේෂණයෙන් සිදුවිය යුත්තේ පිළිගත හැකි මට්ටමකට අදාළ ගැටලුව විසඳීමට උත්සාහ කිරීමයි.
මෙහිදී පර්යේෂණ උපන්‍යාසය සනාත විය යුතුම යැයි විද්‍යාර්ථයන් අතර දුර්මතයක් අැත. විද්‍යාත්මක
ක්‍රමයේදී උපන්‍යාසය පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම හෝ සංශෝධනය වීම සිදුවේ. එබැවින් මෙම දුර්මතය
බැහැර කළ යුතුය.
පර්යේෂණ ගැටලුවක් යනු කිසියම් විභාගයකි. උදාහරණ වශයෙන්, ඥානය අයත් කරගැනීමෙහි
විශ්වසනීයතම උල්පත කුමක්ද? යන ගැටලුව ගතහොත්, මෙය කිසියම් දාර්ශනිකයෙකු හෝ දාර්ශනික
ගුරුකුලයකට අදාළව විභාග කළ හැකිය. නිදසුනක් වශයෙන් අනුභූතිවාදය ඔස්සේ මේ සම්බන්ධව
සලකා බැලිය හැකිය. මේ හරහා පසුව කිසියම් මාතෘකාවක් සකසා ගත හැකිය. අනෙක් අතට ඉතා
කෙටි ගැටලුවක් වේ නම්, ගැටලුවම මාතෘකාව සේ ඉදිරිපත් කළ හැකිය. මින් පැහැදිලි කිරීමට මා විසින්
උත්සාහ ගනු ලබන්නේ විද්‍යාර්ථයා විසින් වද විය යුත්තේ පර්යේෂණ ගැටලුව පිළිබඳව මිස එහි
මාතෘකාව සම්බන්ධව නොවේ. ඉහත උදාහරණ වශයෙන් ඉදිරිපත් කරන ලද ගැටලුව තුළින්
මාතෘකාවක් මෙසේ සකසා ගත හැකිය.
“බ්‍රිතාන්‍ය අනුභූතිවාදයට අනුව ඥානයෙහි විශ්වසනීයතම මූලාශ්‍රය කුමක්ද යන්න පිළිබඳ දාර්ශනික
විමර්ශනයක්”
මීළඟට පැනනගින ගැටලුව වන්නේ පර්යේෂණ ගැටලුවක් තෝරා ගන්නේ කෙසේද යන ගැටලුවයි.
මෙය වෙනත් පුද්ගලයෙකුට සිදු කළ නොහැක්කකි. අනෙක් අතට එසේ කිරීම සිය ස්වාධීන
පර්යේෂණයෙහි ස්වාධීනත්වයෙහි අර්ථය උල්ලංගණය කරන්නකි. පර්යේෂණ ගැටලුවක් මතු විය
යුත්තේ තමාටය. ගැටලුවක් මතු වීම ඉබේ සිදු නොවන්නක් වන අතර අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයේ
සාහිත්‍යය පිළිබඳ දැනීම, කියවීමක් පැවතීම මීට අවශ්‍යය. යමෙකුට සෞන්දර්යවේදය සම්බන්ධව
පර්යේෂණයක් සිදු කිරීමට අවශ්‍ය නම් එහි තමා රුචිකත්වයක් දක්වන උප ධාරාවක් සම්බන්ධව රචිත
කෘති, ශාස්ත්‍රීය ලිපි හැදෑරිය යුතුය. එ් අතරතුර කිසියම් බුද්ධිමය ක්‍රියාකාරකමකද යෙදීමට සිදුවේ.
අැතැම්විට එය දාර්ශනිකයෙකුගේ කිසියම් සංකල්පයක් හෝ අදහසක් හරහාද වහා බුද්ධිගෝචර
වන්නාවූ අභ්‍යන්තර ප්‍රතිභාණයක්ද විය හැකිය.
නිදසුනක් වශයෙන් එම්මානුවෙල් කාන්ට් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකට පාඨයක් පහත දැක්වේ.
“සංඥාවන් නොලද සංකල්පයන් හිස්ය. සංකල්පයන්ගෙන් තොර සංඥාවන් අන්ධය”
මේ පිළිබඳව සැලකිල්ලෙන් විමසන්නෙකුට මෙවැනි ගැටලුවක් අැති විය හැකිය. සංඥාවන් නොලද
සංකල්පයන් හිස් වේ නම්, ලෝකයේ නවතම සොයාගැනීම් අැතැම්විට සිදුවන්නේ එ් සම්බන්ධ කිසිදු
අානුභූතික සංඥාවකින් තොරවය. දාර්ශනිකයාගේ මනසෙහි ලෝකය සම්බන්ධව අැතිවන බොහෝ
සංකල්පයන් හිතලු සේ ගත හැකිය. එ් අර්ථයෙන් ගත් කල කාන්ට්ගේ මෙම මතය පිළිගත හැකිද?
මෙය කිසියම් විචාරශීලී චින්තනයක් තුළින් පැනෙන ගැටලුවකි. එයට සිය බුද්ධිය මෙහෙයවීම සිදු කළ
යුතු වේ.
තවද, දර්ශන ක්ෂේත්‍රයෙහි යම් යම් කරුණු සම්බන්ධව විවිධ පොදු පිළිගැනීම්ද පවතී. උදාහරණ
වශයෙන්, නීට්ෂේ යනු නාස්තිකවාදියෙකි, මාක්ස් භෞතිකවාදියෙකි. අාගම යනු මිනිසා දුකින් මුදවා
විමුක්තිය ලබාදීම මුල් කොටගෙන අැතිවන්නකි. යන පිළිගැනීම් පොදු එ්වාය. නමුත්, අැතමෙකුට මේවා
නොපිළිගැනීමට කරුණු මතු වේ. යම් හෙයකින් මෙවැනි පොදු පිළිගැනීම් වෙනස් කළ හැකි වේ නම්
එයද උසස් පර්යේෂණයක් සේ පෙන්වාදිය හැකිය. නමුත්, එය කරුණු සහිතව සනාත කළ යුතුය.
තාර්කිකව ගත් කල කරුණු සහිතව කලු කපුටා සුදු බවට පත්කළ හැක.නිදසුනක් වශයෙන් ඉහත දැක්වූ
අාගම යනු මිනිසා දුකින් මුදවා විමුක්තිය ලබාදීම මුල් කොටගෙන අැතිවන්නකි. යන පිළිගැනීම ගත් කල
පසුගිය කාලය තුළ ලංකාවේ අැතිවූ ප්‍රහාර අයි. එස්. අයි. එස්. ප්‍රහාර ලෙස සැලකියහොත් එකී
සංවිධානය අාගම මුල්කොටගෙන අැති වූවකි. නමුත්, ඉන් ඉදිරිපත්ව අැත්තේ ප්‍රචණ්ඩත්වයයි. විමුක්තිය
වෙනුවට ඉන් බාහිරට නිරූපණය වන්නේ අාගමික ත්‍රස්තවාදයකි. එ් අනුව අාගමේ දර්ශනය යටතේ
අාගම යනුවෙන් පිළිගැනෙන ප්‍රපංචය ඉහත තත්ත්වය මත කෙනෙකුට අභියෝගයට ලක් කළ හැක.
නමුත්, එය කරුණු සහිතව සනාත කළ යුතුය.
පර්යේෂණ ගැටලුවක් තෝරා ගත හැකි තවත් ක්‍රමයක් වන්නේ කිසියම් ක්ෂේත්‍රයක් සම්බන්ධව සිදු
කොට අැති පර්යේෂණ පිළිබඳ විමසා බලා එ්වායෙහි අසම්පූර්ණ, එනම්, තවත් පර්යේෂණයකින් විමසා
බැලීමට ඉඩකඩ අැති ක්ෂේත්‍රයක් තෝරාගෙන ඊට පිළිතුරු සෙවීමයි. උදාහරණයක් ලෙස පසුගිය කාලය
තුළ සිදුවූ ප්‍රහාර සම්බන්ධව සාකච්ඡා කිරීමට එක්තරා රූපවාහිනී නාලිකාවකට පැමිණි රාජ්‍ය බුද්ධි
අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ අජිත් රෝහණ මහතා පැවසූ එක් සිත්ගන්නා සුලු
කරුණක් දැක්වීමට කැමැත්තෙමි. එනම්, මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර දියත්
කිරීමේදී අදාළ ඉලක්කය මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාට පෙන්වා දීම සඳහා වෙනත් පුද්ගලයෙකු
මෙහෙයවන්නෙකු(handler) ලෙස පැමිණෙන බව බුද්ධි අංශ විසින් නිරීක්ෂණය කර අැත. අදාළ
මෙහෙයවන්නා විසින් අදාළ ඉලක්කය ත්‍රස්තවාදියාට පෙන්වා ඔහු හෝ අැය සීරුවෙන් මඟහැර යයි.
මගපෙන්වන්නා ඉලක්කය පෙන්වාදුන් පසු ප්‍රහාරකයාගේ කාර්යය ප්‍රහාරය දියත් කිරීමයි. මරාගෙන
මැරෙන ප්‍රහාරකයන් දීර්ඝ කාලයක් පුරා මොළ සේදීමට (brain wash) ලක්වූ අයෙකි. මානසික දැඩි
බවක් සමාජය විසින් ඔවුන්ගෙන් අපේක්ෂා කෙරේ. නමුත් ප්‍රායෝගිකව ගත් කල ත්‍රස්තවාදියා ප්‍රහාරයට
අාසන්න වන විට නොසන්සුන් හා බියසුලු ස්වභාවයක් අැති වීමෙන් අදාළ ප්‍රහාර කිහිපයක් අසාර්ථක වී
අැත. එය ඔහුගේ ක්‍රියාකලාපය අගුලු වැටීමක් (lock) හිර වීමක්(stuck) හා සමානය. මෙහිදී අජිත්
රෝහණ මහතා ගැටලු දෙකක් ඉදිරිපත් කරයි.
1. ප්‍රහාරයක් පිණිස මෙහෙයවන්නෙකු පැමිණෙන්නේ අැයි?
2. ප්‍රහාරයට අාසන්න වන විට ප්‍රහාරකයා ප්‍රහාරය අසාර්ථක වන තරමට නොසන්සුන් වන්නේ
අැයි?
මින් පළමු ගැටලුවට රෝහණ මහතා පිළිතුරක් ඉදිරිපත් කළේය. එනම්, මරාගෙන මැරෙන ප්‍රහාරකයන්
යනු උපකරණ අාකාරයෙන් පුහුණු කොට අැත. අරමුණ මරාගෙන මැරීමයි. ඔහු මිනිස් බෝම්බයකි.
අවශ්‍ය අවස්ථාවේ උපකරණයක් ගෙන ඉන් කාර්යයක් ඉටු කරගන්නා සේ ඔහු යොදාගනී. ඉලක්කය
පෙන්වාදීමට කෙනෙකු පැමිණෙන්නේ එ් නිසාය.
නමුත් ඉහත දෙවන ගැටලුවට ඔහු පිළිතුරු නොදුන්නේය. එය ඔහුගේ ක්ෂේත්‍රයට අයත් ගැටලුවක්
නොවන බවත්, නමුත්, ඊටද පිළිතුරක් සෙවිය යුතු බවත් පැවසීය. සැබවින්ම මෙය අදාළ වන්නේ
මනෝවිද්‍යා ක්ෂේත්‍රයටය.
මෙම නිදසුනින් පැහැදිලි කිරීමට මා උත්සාහ ගන්නා ලද්දේ කිසියම් ක්ෂේත්‍රයක නොවිසඳී ශේෂ වන
ගැටලුද පර්යේෂණ ගැටලුවක් ලෙස තෝරාගත හැකිබව අවධාරණය කිරීමටය.
මේ හැර තම තමාට අනන්‍ය අැතැම් ක්‍රම මාර්ගයෙන්ද පර්යේෂණ ගැටලු තෝරා ගන්නා පරයේෂකයන්
සිටින බවද පැවසිය යුතුමය.
පර්යේෂණ ගැටලුවක් තෝරාගැනීමෙන් පසුව සිදු කළ යුත්තේ එකී ක්ෂේත්‍රයට අදාළව කරුණු ගොනු
කිරීමයි. තමා විසින් තම පර්යේෂණය සිදු කිරීමේදී යොදා ගන්නා පර්යේෂණ
විධික්‍රමවේදය(methodology) කුමක්ද යන්න පිළිබඳවද කිසියම් අවබෝධයක් පැවතිය යුතුය. දර්ශන
ක්ෂේත්‍රයෙහි සිදුවන පර්යේෂණ බොහෝ කොටම ක්ෂේත්‍ර පර්යේෂණ නොවන බැවින් මූලාශ්‍ර
අාශ්‍රයෙන් තොරතුරු රැස් කිරීමට සිදුවේ. එය පර්යේෂණයට තොරතුරු රැස් කරනු ලබන විධික්‍රම
(methods) මිස විධික්‍රමවේදය නොවේ. විධික්‍රමවේදය යනු පර්යේෂණයෙහි හදවතයි. පර්යේෂණයක
ගොනු කරගත් තොරතුරු විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදය විධික්‍රමවේදයයි. තාර්කික විශ්ලේෂණය,
අපෝහකය, ප්‍රපංචවේදය, සාංදෘෂ්ටිකවාදී අාදී වශයෙන් විධික්‍රමවේද ගණනාවකි. පර්යේෂණයක් සිදු
කිරීමේදී උපදේශකවරයාගෙන් මේ සම්බන්ධ නිසි උපදෙස් ලබාගත යුතුය.
පර්යේෂණයක් සිදු කිරීමේදී ගැටලුකාරී වන තවත් කරුණක් වන්නේ පර්යේෂණයට අදාළ සාහිත්‍ය
විමර්ශනයයි. සාහිත්‍ය විමර්ශනය යනු පර්යේෂණයක් සම්බන්ධ වත්මන් දැනුමයි(current
knowledge). එනම්, තමා තෝරාගත් පර්යේෂණයට උපකාරී වන විවිධ කරුණු හා සංකල්ප සම්බන්ධව
හෝ ඍජුවම පර්යේෂණයට අදාළ ක්ෂේත්‍රය සම්බන්ධව අැති මූලාශ්‍ර විමර්ශනයයි. එහිදී තම
පර්යේෂණය මේ වන විට කුමන මතයක් වටා කේන්ද්‍රගතව අැත්ද යන්න විමසා බැලීමකි. නමුත්,මෙහිදී
සැලකිය යුතු කරුණක් වන්නේ පර්යේෂණයක් නවමු වූවක් විය යුතුය. වෙනත් පුද්ගලයෙකු විසින් සිදු
කළ පර්යේෂණයක් සිදු කිරීම බුද්ධිමය දේපල පනත යටතේ නඩු පැවරිය හැකි විභාග වංචාවකි. වෙනත්
පුද්ගලයෙකු විසින් සිදු කළ පර්යේෂණයක් සිදු කරන්නේ නම් යටත් පිරිසෙයින් තම පර්යේෂණය ඉන්
වෙනත් නිගමනයක් කරා හෝ එළඹිය යුතුය. සාහිත්‍ය විමර්ශනයක් යනු පර්යේෂණයක් සම්බන්ධ
වත්මන් දැනුම, එ් සම්බන්ධව දැනට සිදුව අැති පර්යේෂණ, එ්වායෙහි නිගමන සහ අවසන් වශයෙන් තම
පර්යේෂණය එ්වායෙන් වෙනස් වන්නේ කෙසේද යන කරුණු ඉස්මතු කිරීමකි.
පර්යේෂණයක සීමාව තීරණය කිරීමේදීද විද්‍යාර්ථයන් විසින් විවිධ ගැටලුවලට මුහුණපානු ලබයි.
පර්යේෂණයක සීමාව නිර්ණය කිරීම පර්යේෂණයේ සාර්ථකභාවය හා පහසුව සඳහා වැදගත් වේ.
එමෙන්ම පර්යේෂණයේ සීමාව තීරණය කිරීමේදී එක්කෝ කිසියම් අවබෝධයකින් හා තාර්කික
පදනමකින් යුක්තව තමාට අභිමත පරිදි තීරණය කළ හැකිය. නැතිනම් තම උපදේශකවරයාගේ සහාය
ලබාගත යුතුය. පර්යේෂණයේ සීමාව පිළිබඳ ගැටලුවට බොහෝව්ට මුහුණපාන්නේ පර්යේෂණ
යෝජනාව ඉදිරිපත් කිරීමේදීය. මේ සම්බන්ධව පැහැදිලි කිරීමට උදාහරණ කිහිපයක් සැලකිල්ලට ගනිමි.
1. ථේරවාදය හා මහායානය අතර බෝධිසත්ත්ව සංකල්පයෙහි කිසියම් සමානතාවක් තිබේද?
2. මිනිසුන් ඛේදාන්ත කලාවන් ප්‍රිය කරන්නේ අැයි?
3. වෙළඳ දැන්වීම් හා විදේශීය ටෙලි නාට්‍ය මගින් පාසල් සිසුන්ගේ මනෝවිද්‍යාත්මක චර්යා වෙනස්
වේද?
ඉහත ගැටලු පිළිබඳව විමසා බැලීමේදී පළමු ගැටලුවෙහි සීමාව වන්නේ බෝධිසත්ත්ව සංකල්පය
ථේරවාදය තුළ හා මහායානය තුළ විග්‍රහ වන අාකාරයයි. මෙහිදී ථේරවාදය යනු විවිධ ගුරුකුල
ගණනාවකින් සමන්විත සම්ප්‍රදායකි. මහායානයද එසේමය. එ් එ් ක්ෂේත්‍ර තුළ බෝධිසත්ත්ව සංකල්පය
නිරූපණය වන්නේ විවිධ අයුරින් බැවින් පොදු අදහසක් ගම්‍ය කරගැනීම දුෂ්කර වේ. මෙහි ගැටලුව
පවතින්නේ පර්යේෂණ ගැටලුවෙහි සීමාව තීරණය කිරීම සම්බන්ධවය. කිසියම් එක් සංකල්පයක්
යම්කිසි ධාරා දෙකක අන්තර්ගත අාකාරය තුළනාත්මකව අධ්‍යයනය කිරීමේදී අදාළ ධාරාවන් ඉතා පුළුල්
වන තරමට පර්යේෂණය අසාර්ථක වේ.එබැවින් එය හැකිතාක් සීමා කරගත යුතුය. ඉහත ගැටලුව
ථේරවාදයෙහි කිසියම් නිකායකට හෝ සූත්‍ර කිහිපයකට සීමා කොට මහායානයෙහි බෝධිචර්යාවතාරය
වැනි කෘතියකට සීමා වුවහොත් එය වඩාත් පහසු වේ. මීට හේතුව ප්‍රථම උපාධි නිබන්ධය කිසියම් වචන
ප්‍රමාණයකට සීමා කිරීමට සිදුවීමයි. එබැවින් ශාස්ත්‍රීය වශයෙන් පර්යේෂණයක උපරිම ගැඹුරට යාමට
නම් මතුපිට වශයෙන් එය සීමිත වපසරියකට අදාළ වීම වැදගත්ය.
දෙවන ගැටලුව පිළිබඳ අවධානය යොමු කිරීමේදී ගැටලුව ඉතා විවෘත වූවකි. කලාවන් කොතෙකුත්
අැත. අද වන විට සමාජ ජාල තුළ පවා විවිධ කලාවන් දැකිය හැකි වේ. යටත් පිරිෙසයින් ගීත, චිත්‍රපට,
නවකතා, කෙටිකතා, නිසඳැස්, කවි, ළමා කතා, චිත්‍රකතා, චිත්‍ර වැනි කලාවන්ද, සිංහල,ද්‍රවිඩ අාදී භාෂාද,
විවිධ රටවල, අතීත වර්තමාන අනාගත කාලත්‍රයටම පොදු අාදී විවිධතාවන්ගෙන් යුත් සෑම කලාවක්ම
මෙම කලාවන් යන කුලකයට අයත් වේ. එබැවින් අනිවාර්යයෙන් මෙවැනි පර්යේෂණයක සීමාව මැන
ගැනීම අත්‍යවශ්‍යය.
තෙවැනි ගැටලුව ගත් කල වෙළඳ දැන්වීම් මෙන්ම විදේශීය ටෙලි නාට්‍ය ගත් කල සෑම රටකම විකාශය
වූ එ්වා අදාළ වේ. යටත් පිරිසෙයින් එය ලංකාව තුළ විකාශය වන එ්වා ලෙස සීමා කරගත්තද සෑම
නාලිකාවකම විකාශය වන විදේශීය ටෙලිනාට්‍ය හා වෙළඳ දැන්වීම් සලකා බැලිය නොහැක. එය
කිසියම් සීමාවක් ලකුණු කොටගැනීම අත්‍යවශ්‍යය. අැතැම් විද්‍යාර්ථයන් මෙවැනි ගැටලු තෝරාගෙන
පර්යෛෂණ පවත්වාගන යාමේදී විවිධ ව්‍යාකූලතාවන්ට මුහුණ දෙයි. දාර්ශනිකයන් සම්බන්ධව සිදු
කරන පර්යේෂණවලදී ඔවුන්ගේ නිශ්චිත තෝරාගත් කෘතියකට සීමා වීම වැනි උපක්‍රම භාවිත කළ
යුතුය.
විද්‍යාර්ථයන් විසින් මුහුණපානු ලබන තවත් ගැටලුවක් වන්නේ පර්යේෂණය දර්ශන විෂයෙන්
පරිබාහිරව තෝරාගැනීමයි. උදාහරණ වශයෙන් පහත ගැටලු සලකා බැලිය හැක.
1. මිනිසුන් දික්කසාද වන්නේ අැයි?
2. විවාහයේදී දායාදය අත්‍යවශ්‍ය වේද?
වැනි ගැටලු ගත් කල එ්වා සිදු කළ හැක්කේ සමාජවිද්‍යාත්මක අධ්‍යයන වලිනි. එබැවින් දර්ශනයට අදාළ
ගැටලු තෝරාගැනීම ඉතා වැදගත්ය. අැතැම් ගැටලු දර්ශනයට අදාළ කරගනිමින් විභාග කළ හැකිය. එය
සිදු කළ හැක්කේ දර්ශන විෂයට අදාළ විධික්‍රමවේදයක් භාවිත කිරීම තුළින් පමණි.
මීට අමතරව බුද්ධිමය දේපල වංචනික ලෙස භාවිත කිරීමෙන් තොරව උපුටාගැනීම් අැඟවීම, භාෂාව
නිසි ලෙස භාවිතය වැනි පොදු කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
පර්යේෂණයකට අදාළ මූලාශ භාවිතයේදී සෑම විටම ඊට අදාළ ප්‍රාථමික මූලාශ්‍ර භාවිත කිරීමට හැකිතාක්
උත්සාහ කළ යුතුය. එය පර්යේෂණයක විශ්වසනීයත්වය වඩාත් ප්‍රකට කරන්නකි. පර්යේෂණයකට
අදාළ ප්‍රාථමික මූලාශ්‍ර යනු අදාළ පර්යේෂණය ප්‍රස්තුත කරගන්නා ගැටලුවට අදාළ මූලිකම මූලාශ්‍රයයි.
කිසියම් බෞද්ධ සූත්‍රයක් සම්බන්ධ පර්යේෂණයක් නම් එකී සූත්‍රය එහි ප්‍රාථමික මූලාශ්‍රයයි.
මැකියාවෙලීගේ කුමාරයා කෘතිය සම්බන්ධ පර්යේෂණයක ප්‍රාථමික මූලාශ්‍රය කුමාරයා කෘතියයි. එහි
පරිවර්තන භාෂාවේ භේදයකින් තොරව සෑම පරිවර්තනයක්ම ඊට ප්‍රාථමික වේ. මේ හැර කිසියම්
කෘතියක් සම්බන්ධව වෙනත් පර්යේෂකයෙකු විසින් රචිත මූලාශ්‍ර ද්විතියීක මූලාශ්‍ර වේ.
මීට අමතරව වැදගත්ම කරුණ වන්නේ පර්යේෂණය තාර්කිකව ඉදිරියට ගොඩනැගීමයි. ස්වකීය
උපන්‍යාසය පරික්ෂා කිරීම කරුණු සහිතව සිදු කළ යුතුය.
මේ අාකාරයෙන් කටයුතු කිරීමෙන් උසස් මට්ටමේ පර්යේෂණයක් සිදු කිරීම මුලින්ම සඳහන් කරන ලද
පරිදි තම අධ්‍යයන ක්ෂේත්‍රයේ උන්නතියට මෙන්ම තමාගේ සුදුසුකම්වල ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු
කරගැනීමට උපකාර වනු අැත.

You might also like