You are on page 1of 14

විඩම්බනය හා අධියථාර්ථය (simulation and hyperreality) පිළිබඳ ජීන් බෝඩ්‍රිලාඩ්ගේ සංකල්පය තුළින්

වත්මන් පාරිභෝගික සමාජය පිළිබඳ කියවීමක්

පශ්චාත් නූතනවාදය සමාජය සමග ඉතාම සමීප කලා විචාරයක්, සංස්කෘතික න්‍යායක් මෙන්ම දාර්ශනික
ව්‍යාපෘතියක් සේ සැලකේ. එ් බව සනාත කළ හැකි සංකල්ප අතුරින් එකක් ලෙස අධියථාර්ථය පිළිබඳ
ජීන් බෝඩ්‍රිලාඩ්ගේ සංකල්පය පෙන්වාදිය හැකිය.
බෝඩ්‍රිලාඩ් ප්‍රංශ දාර්ශනිකයෙකි. සමාජ විද්‍යාඥයෙක් මෙන්ම සංස්කෘතික න්‍යායාචාර්යවරයෙකි. ඔහු මුල්
කාලීන පශ්චාත් නූතනවාදය හැඩගැස්වීමෙහිලා තීරණාත්මක වූ පශ්චාත් ව්‍යුහවාදියෙක් ලෙස
පෙන්වාදිය හැකිය.
ඔහු මුල් කාලීනව විශේෂ අවධානයක් යොමු කරන ලද්දේ පාරිභෝගික සමාජය පිළිබඳවය.
එහිදී එ් සම්බන්ධ සංඥාර්ථවේදී (semiotic) විග්‍රහයක නියැළී අැති බව නිරීක්ෂණය කළ හැක. ඔහුට අනුව
වත්මන් සමාජය විකේතනය (decode) කළ යුතු සංඥා සහ සංකේත ජාලයකින් සමන්විත වේ.
ව්‍යාජය සහ විඩම්බනය (simulacrum and simulation) නමැති විග්‍රහය තුළින් අධියථාර්ථය(hyperreality)
නමැති සංකල්පයට එළඹීමට අදාළ පසුබිම සැකසී අැත්තේ ඉහත සඳහන් කරන ලද සංඥාර්ථවේදී විග්‍රහය
තුළිනි. සමාජය තුළ විඩම්බනය හා එ් තුළින් අධියථාර්ථයක් අැතිවීම හඳුනාගැනීමට පෙර මෙම
විග්‍රහයෙන් පැහැදිලි කෙරෙන්නේ කුමක්ද යන්න හඳුනාගැනීම වැදගත්ය.

ජීන් බෝඩ්‍රිලාඩ්ට අනුව පුද්ගල අත්දැකීම් යනු යථාර්ථයේ ව්‍යාජ වේශයකි. අධියථාර්ථය අැතිවීම පියවර
කිහිපයක් ඔස්සේ සිදුවන බව ජීන් බෝඩ්‍රිලාඩ්ගේ අදහසයි.
පළමු පියවරේදී පාරිභෝගික සමාජය තුළ ගැඹුරු යථාර්ථයට අදාළ විශ්වාසදායී පිටපතක් විද්‍යමාන වේ.
ජීන් බෝඩ්‍රිලාඩ් මෙය යථාර්ථයේ පරාවර්තනයක් සේ හඳුන්වයි. ඔහුට අනුව මෙය යහපත් ප්‍රවණතාවකි.
දෙවන පියවරේදී සිදුවන්නේ යථාර්ථය මුලා කිරීම හෙවත් යථාර්ථය අයතු ලෙස යෙදවීමයි(perversion
of reality). මෙහිදී විද්‍යමාන වන්නේ යථාර්ථයෙහි අවිශ්වාසදායී පිටපතකි. මින් යථාර්ථය අාවරණය
කරන අතර එහි අනන්‍ය ලක්ෂණ වෙනස් කරනු ලබයි (masks and denature). මෙය දුර්විපාක ගෙන
දෙන්නාවූ ක්‍රියාවලියකි. මින් යථාර්ථය විශ්වාසදායී ලෙස අනාවරණය නොකරන නමුත්, ගැඹුරු
යථාර්ථයක පැවැත්මක් අැති බව ඉඟි කරන අතර ඉන් සිදුව අැත්තේ යථාර්ථය සංක්ෂිප්ත කිරීමයි.
තෙවන පියවරේදී මෙය වඩාත් ඉදිරියට ගොස් යථාර්ථය සඟවන අතර විද්‍යමාන පිටපත යථාර්ථය වන
බව ව්‍යාජ ලෙස අඟවයි. යථාර්ථවත් යමක් අැති බව හැඟී ගියද විද්‍යමාන පිටපතෙහි සත්‍ය මුල් අාකෘතිය
අතුරුදන් වේ. වෙනත් ලෙසකින් කිවහොත් විද්‍යමාන පිටපත උපුටාගන්නා ලද මූලාශ්‍රය සැඟව යයි.
මෙහිදී ක්‍රියාත්මක වන්නේ මායාත්මක ක්‍රියාදාමයක් (order of sorcery) වන බව බෝඩ්‍රිලාඩ් පවසයි.
සිව්වන පියවර නම් යථාර්ථය මුළුමනින්ම වැසී යන අතර මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ විඩම්බනය
හෙවත් ව්‍යාජයයි. මෙය කිසිදු අාකාරයකින් යථාර්ථය සමග සබඳතාවක් අැත්තේ නැත. යමෙකුට
යථාර්ථය වටහාගැනීමට අවශ්‍ය නම් එය විචාරශීලී බවකින් විනා වෙනත් අාකාරයකින් හඳුනාගත
නොහැක. සංඥා වෙනත් සංඥා කෙරෙහි බලපායි. පාරිභෝගිකයන්ගේ අත්දැකීම් මුළුමනින්ම කෘතිම
එ්වාය. නමුත්, එය ඔවුන්ට වටහාගැනීමේ හැකියාවක් නොමැති තරමට යථාර්ථය වැසී ගොස් අැත.
එනම් එය අධියථාර්ථවත් ලෙස ඉදිරිපත් වේ. අතිභාවාත්මක බවක් ගැබ්වන බැවින් යථාර්ථය
වටහාගැනීමේ විචාරශීලී ස්වයං විඥානයද පුද්ගලයාගෙන් තුරන් වේ.(Wikipedia free encyclopedia)
බෝඩ්‍රිලාඩ් විසින් පැහැදිලි කරන ලද අධියථාර්ථ සංකල්පය සමාජය තුළින් පිරික්සා බැලීම වටී. වත්මන්
සමාජයේ විවිධතාවන්, ප්‍රවණතාවන් දෙස බැලීමේදී එ්වා පර්යේෂණාත්මකව විමසා බැලීමේදී දර්ශනය
හදාරන විද්‍යාර්ථයන් අැතැම්විට සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා පෙළඹේ. නමුත්, ඊට වඩා
දාර්ශනිකව අධ්‍යයනය කිරීමේ ක්‍රම පිළිබඳ ව්‍යාකූල ගැටලු අැතිකරගනී. එනම්, සමාජය පිළිබඳව
දාර්ශනිකව අධ්‍යයනය කරන්නේ කෙසේද යනුවෙන් කල්පනා කරයි. ඊට දිය හැකි පිළිතුරක් ලෙස
බෝඩ්‍රිලාඩ්ගේ මෙම විඩම්බනය හා අධියථාර්ථය යන සංකල්පය පෙන්වාදිය හැකිය. පශ්චාත්
නූතනවාදය වඩා සමීප වන්නේ දාර්ශනික දුරවබෝධ සංකල්ප වෙත නොව සමාජයටයි. එබැවින්
වත්මන් සමාජ ප්‍රවණතාවන් මෙම සංකල්පය හරහා දාර්ශනිකව අර්ථකථනය කළ හැක.
අධියථාර්ථය යනු යථාර්ථයටත් වඩා යථාර්ථවත් යන අදහසයි. එ් අනුව අධියථාර්ථය සමාජය තුළ
ගොඩනැගෙන්නේ කෙසේද? යන්න බෝඩ්‍රිලාඩ් විසින් පැහැදිලි කරන ලද පියවර ඔස්සේ විමසා බැලීම
වඩා සුදුසු වනු අැත.
පළමු පියවරේදී සිදුවන්නේ පාරිභෝගික සමාජය තුළ යථාර්ථයට වඩාත් සමීප වඩා විශ්වාසදායී
පිටපතක් විද්‍යමාන වීමයි. නිදසුනක් ගතහොත්, ලෝකයේ ප්‍රකට ගණයේ සිතුවම් වල පිටපත් සමාජය
තුළ බොහෝවිට අලෙවි කිරීම, ප්‍රසිද්ධ ස්ථාන තුළ ප්‍රදර්ශනය වීම දැකිය හැකිය. එහිදී එ්වායෙහි මුල්
පිටපත් අැත්තේ එකකි. මුල් පිටපතට අැති වටිනාකම එසේම එ්වායෙහි පිටපත්වලට නොලැබුණද,
පිටපත් වලටද කිසියම් වටිනාකමක් ලැබේ. උදාහරණ වශයෙන් සීගිරි බිතු සිතුවම්, අජන්තා ලෙන්
සිතුවම්, මොනාලිසා සිතුවම යනාදිය පෙන්වාදිය හැකිය. මෙය නියම සිතුවමට කිසිදු හානියක් නොවන
බැවින් එය විශ්වාසදායී පිටපතක පුනරූපණයකි. සිතුවම් පමණක් නොව බොහෝ ක්ෂේත්‍රයන් සමග
මෙය සම්බන්ධ කළ හැක. චිත්‍රපටයක් ගත් කල බොහෝවිට අතීතයේ සිදුව අැත්තේ සත්‍ය සිදුවීමක්
අාශ්‍රයෙන් එ්වා නිෂ්පාදනය කිරීමයි. හිට්ලර්, ඉඩි අමින් වැනි චරිත, ලෝක යුද්ධය වැනි සිදුවීම් වැනි
සත්‍ය ප්‍රස්තුත අරබයා චිත්‍රපට නිෂ්පාදනය වී අැත. එ්වා යථාර්ථයේම පරාවර්තනයක් සේ පෙන්වාදිය
හැකිය. ගීත නිර්මාණයක මුල් නිර්මාණයෙන් අාභාෂය ලබන අාධුනිකයන් අැතැම් රියැලිටි
වැඩසටහන්වලදී ගීතය එ් අාකාරයෙන්ම ගායනා කිරීම නියම ගායනය සේ සලකයි. විනිශ්චය
මණ්ඩලයද බලාපොරොත්තු වන්නේ බෝහෝ විට එයමය. දේශපාලනික වශයෙන් ගත්තද නූතන
ජාතික රාජ්‍ය බිහිවීමත් සමග රාජ්‍යය කෙසේ විය යුතුද යන්න බුද්ධිමතුන් සහ විශේෂඥයන් විසින්
තීරණය කොට ව්‍යවස්ථාවක් වශයෙන් සම්පාදනය කර එය එ් අාකාරයෙන්ම ව්‍යවස්ථානුකූලව
ක්‍රියාත්මක කිරීම මුල් කාලීනව සිදුවූ අතර එය මහත් වැදගත් හා නීත්‍යනුකූලව සලකනු
ලැබීය.දේශපාලනය සිදු වන්නේ අදාළ ව්‍යවස්ථාවට අනුවය.
බෝඩ්‍රිලාඩ් විසින් පැහැදිලි කරන ලද අාකාරයට විඩම්බන ක්‍රියාවලියේ දෙවන පියවරේදී සිදුවන්නේ
යථාර්ථය මුලා කරමින් එය අයුතු ලෙස යෙදවීමයි. නමුත්, ඡායාමාත්‍ර වශයෙන් නියම යථාර්ථයක් අැති
බව ඉන් ඉඟි කරයි. එනම් ඉන් යථාර්ථය සංක්ෂිප්ත කිරීමක් සිදුවේ. වර්තමානය වන විට කලා නිර්මාණ
ගත් කල නවමු තාක්ෂණික උපක්‍රම වැඩි වශයෙන් භාවිත කිරීම සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීමේදී
අැතැම් අවස්ථා මීට උදාහරණ වශයෙන් පෙන්වාදිය හැකිය. විශේෂයෙන් මුහුණු පොත තුළ ජනප්‍රිය
බවක් උසුලන ඡායාරූප සංස්කරණය පෙන්වාදිය හැකිය. පහත දැක්වෙන්නේ එවැනි ඡායාරූප
සංස්කරණ කිහිපයකි.
ඉහත ඡායාරූප කෙරෙහි මූලිකව පදනම්ව අැත්තේ ලෝක ප්‍රකට “ලිබර්ටි” ප්‍රතිමාවයි. එය යම් යම් සමාජ
ප්‍රවණතාවන් හමුවේ එ්වා සමාජයට අවධාරණයෙන් ඉදිරිපත් කිරීමේ මාධ්‍යයක් ලෙස අදාළ ප්‍රතිමාවෙහි
ඡායාරූප විවිධ අයුරින් සංස්කරණය කර ඉදිරිපත් කොට අැත. නමුත්, මින් ලිබර්ටි ප්‍රතිමාව සැඟවීමක්
සිදුවන්නේ නැත. බැලූ බැල්මට එය ලිබර්ටි ප්‍රතිමාව බව හඳුනාගත හැකිය. එහිදී යථාර්ථය අයුතු ලෙස
යෙදවීමක් පමණි සිදුව අැත්තේ. මෑත කාලීනව ලාංකීය සමාජය තුළද මෙම ක්‍රියාවලිය බහුල වශයෙන්
සිදුවේ. විශේෂයෙන් සමාජ ජාල තුළ විවිධ දේශපාලකයන්ගේ ඡායාරූප විවිධ අයුරින් සංස්කරණය
කොට කිසියම් උපහාසාත්මක රසයක් විඳී. මෙම ලිපිය එ්වායෙහි යහපත් බව හෝ අයහපත් බව පිළිබඳ
විනිශ්චයක යෙදීම නොව හුදෙක් බෝඩ්‍රිලාඩ්ගේ විඩම්බන සංකල්පය තුළින් සමාජය කියවීමට කිසියම්
උත්සාහයක් දැරීම පමණි. එබැවින් එකී ක්‍රියාකාරකම් මෙම ලිපිය තුළින් හෙළා දැකීමක් හෝ අගය
කිරීමක් සිදු කිරීම අරමුණු නොවන බව සඳහන් කළ යුතුය.
තවද, විවිධ ප්‍රසිද්ධ ගීත වෙනස් කොට සමාජ ප්‍රවණතාවන්ට අනුව සංස්කරණය කොට ඉදිරිපත් කරයි.
සැළලිහිණි සංදේශයේ කවියක් වසර කිහිපයකට පෙර අමතර පංතියක බිත්තියක මෙසේ වෙනස් කොට
ලියා තිබෙනු දැකිය හැකි විය.

“සිසි වණ වූ කණ ඉඟ සුඟ ගත හැකි බදින


නිසි පුළුලුකුළ රිය සක යුරු විය මුහුණ
දිසි රන ලියෙව් රූ සිරි පුයර ගෑ මුහුණ
අැසි පිය හෙලන පමණින් නොවෙති හොල්මන”
(කතෘ අඥාතය)

සරසවි උප සංස්කෘතිය තුළද මෙවැනි ප්‍රසිද්ධ කවි සහ ගීත වෙනස් කොට ගායනා කරනු ලැබේ. මින්
සිදුවන්නේ යමක මුල් පිටපතෙහි බාල පිටපතක් ඉදිරිපත්ව ජනප්‍රිය වීමයි.

ගීත නැවත සැකසීමේදී(re make) ද සිදුවන්නේ මෙයයි. වෙළඳ ක්ෂේත්‍රය තුළ අැතැම් උසස්
නිෂ්පාදනවල අනුකරණ බිහිවීමද මේ අැසුරින් විග්‍රහ කළ හැකිය. උදාහරණයක් වශයෙන් පසුගිය
කාලයේ “දඩයම් බට්ටා” නමැති සෝයා වර්ගයක් ඉතා ජනප්‍රිය වූ අතර එ් හා සමගම “දඩයම් ලොක්කා” ,
“දඩයම් පොඩ්ඩා” අාදී වශයෙන් විවිධ අනුකරණ බිහිවිය. මෙහිදී සිදුවන්නේ ඉතා සූක්ෂ්ම අයුරින්
අනුකරණය මුල් දෙයට ඉතා සමානව නිපදවීමයි. නමුත්, මුල් දෙයෙහි ගුණාංග පිටපතෙහි අන්තර්ගත
නොවේ. හුදෙක් එය බාහිර සමානතාවක් අැතිව පමණක් නිපදවන්නකි.
පසුගිය කාල සීමාව තුළ සිදුවූ දේශපාලන පරිවර්තන අරබයා ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ
කුහුඹුවෝ ටෙලි නාට්‍යයෙහි ජෙහාන්ගේ චරිතය සම්බන්ධ කරමින් විවිධ ‘පෝස්ට්’ සමාජ ජාල තුළ

සංසරණය විය.

සංගීත සංදර්ශනවලදී අැතැම් ගායකයන් මුල් ගීතවල තනු නිර්මාණ, වචන සහ අැතැම්විට සංගීතය පවා
වෙනස් කරමින් ගායනා කරයි. කාන්තා ගායන ශිල්පිණියන් ගයන ගීත තරුණයන් ගායනා කරයි.
අනුකරණයේ දක්ෂ තරුණයන් අැතැම්විට විවිධ ගායන ශිල්පීන් කිහිප දෙනෙකුගේ හඬ අනුකරණය
කරමින් ගායනා කරයි. යටත් පිරිසෙයින් අැතමුන් මෙය අදාළ ගීතවල මුල් හිමිකරුවන් ගැන හෝ
සඳහන් නොකරයි. අැතමුන් එ්වායෙහි මුල් උරුමකරුවන් තමන් බව හැඟෙන සේ හැසිරේ. මේවා
රසවිඳින කුඩා දරුවන් එ්වායෙහි හිමිකරුවන් ඔවුන්ම බව සිතයි. එනම් අදාළ ගීතවල මුල් අාකෘතිය
සැඟවී එ්වා අයුතු ලෙස යොදවන ලද බාල පිටපත් කරළියට පැමිණේ. සංගීත ප්‍රසංග මගී ප්‍රවාහන බස්
රථවල විකාශය කිරීම අද විලාසිතාවක් බවට පත්ව අැත. එවිට එම බාල පිටපත් තව තවත් තරුණ
තරුණියන් අතර ජනප්‍රිය වේ. විඩම්බනයේ දෙවන පියවර මේ අාකාර වේ.
මායාත්මක ක්‍රියාවලියක් සිදුවන තෙවන පියවරේදී යථාර්ථය මුළුමනින්ම සඟවයි. යථාර්ථයක් යැයි යමක්
අැතැයි හැඟී ගියද විද්‍යමාන පිටපතට යථාර්ථයෙහි ඍජු සම්බන්ධයක් නැත. උදාහරණ වශයෙන් අැතැම්
කලා නිර්මාණ නිර්මාණ ගණයේ එ්වා ලෙස හෝ සැලකිය නොහැකි තරමට කලාව දූෂ්‍ය තත්ත්වයට පත්
කොට සිදු කරන නිපැයුම් පෙන්වාදිය හැකිය. වත්මන් ගීත කලාව තුළ කිසිදු උපමා, රූපක, සංකේත,
ව්‍යංග්‍යාර්ථ වැනි ගීතයක ගුණාත්මක බව මැනිය හැකි කිසිදු නිර්ණායකයකින් මැනිය නොහැකි, ගීත
යැයි කියාගන්නා නිපැයුම් සංස්කෘතියක් බිහිව අැත.
අැතැම්විට එ්වා වෙනත් අරමුණු ඉෂ්ට කරගැනීමට කලාව මාධ්‍යයක් කොටගන්නා එ්වාය. උදාහරණ
වශයෙන් යමෙකුට අපහාස කිරීම, මඩ ගැසීම වැනි කටයුතු සඳහා නිපදවුණු කලා නිර්මාණ බොහෝය.
එවිට කලා නිර්මාණයක් යනු මේ යැයි නිසි පිළිගැනීමක් අැති විදග්ධ ගණයේ නිර්මාණ පරයා අවර
ගණයේ බාල නිර්මාණ ඉදිරිපත් වේ. මේවා තෝරා බේරා ගැනීමට සිදුවන්නේ විචාරශීලී චින්තනය
මෙහෙයවීම තුළිනි.
දේශපාලන සන්දර්භය තුළ අැතැම් සිදුවීම් සහ එ්වායෙහි බලපෑම් ඉතා ව්‍යාකූල ස්වභාවයක් දැකිය
හැකිය. වත්මන් දේශපාලන තත්ත්වය පිරික්සා බැලීමේදී කිසියම් දේශපාලනඥයෙක් කිසියම් කරුණක්
සම්බන්ධව ප්‍රකාශ කරන දෙය වෙනත් අයෙකු විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි. අැතැම්විට යමෙකු
ප්‍රකාශ කළ දෙයක් ඊට හාත්පසින්ම වෙනස් කොට ප්‍රකාශ කරයි.එවිට සාමාන්‍ය මහජනයාට සිදුවන්නේ
එක්කෝ කිසිවෙකු මත එල්බගැනීමයි. නැත්නම් කිසිවෙකු මත හෝ එල්බ නොගැනීමයි. මෙහිදී
පුද්ගලයා තුළ විචාරශීලී බව අත්‍යවශ්‍ය වේ.
වෙළඳ නිෂ්පාදන ප්‍රචාරයේදීත් මෙවැනිම ක්‍රියාවලියක් සිදුවේ. අැතැම් වෙළඳ භාණ්ඩ රසායනිකයන්
මගින් සකස් කොට එ්වා සියයට සියයක් ස්වභාවික නිෂ්පාදන ලෙස ප්‍රචාරය කරයි. උදාහරණ වශයෙන්
සුප් කැට පිළිබඳ එක්තරා වෙළඳ දැන්වීමක අදාළ සුප් කැටය සකසන අාකාරය රූප රාමු මගින් ඉදිරිපත්
කරයි. එම රූප රාමු වලට අනුව කුකුල් මස් සමග කුළුබඩු එක් කර සූපයක් අාකාරයට පැසවා එය ඝණ වූ
විට එකී සුප් කැටය නිපදවෙන බව අැඟවීමට උත්සාහ කරයි. නමුත්, එම නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය ගෙන
පිරික්සා බැලුවහොත් එ්වා සියල්ල ස්වභාවික රසයට සමාන(nature identical ) ලෙස සඳහන් කර අැත.
බොහෝ ස්වභාවික යැයි කියනා අාහාර ද්‍රව්‍ය කෘත්‍රීම රසකාරක මගින් සකසන එ්වා බව විචාරශීලීව
විමසා බලන්නෙකුට වැටහේ.

සිව්වන පියවර සලකා බලන කල මෙය ඉතා දීර්ඝ වශයෙන් විග්‍රහ කළ හැක. විඩම්බනය හෙවත් ව්‍යාජය
ප්‍රබල වශයෙන් ක්‍රියාත්මක වන මෙම පියවරේදීය අධියථාර්ථය විද්‍යමාන වන්නේ. පුද්ගල විචාරශීලී බව
හීන වන අතර පුද්ගල හෙවත් පාරිභෝගික අත්දැකීම් කෘත්‍රීම එ්වා වේ.
මෙය දේශපාලනික වශයෙන් මුලින්ම සලකා බැලුවහොත් වර්තමානය වන විට නිශ්චිත ප්‍රතිපත්තියක්
මත ව්‍යවස්ථානුකූලව රාජ්‍යය පාලනය කිරීමක් දැකිය නොහැක. ක්‍රියාපටිපාටියන්ගෙන් පිටස්තරව
බොහෝ ක්‍රියාමාර්ග ගනු ලබයි. මීට සරල උදාහරණයක් ගත හොත් සෑම මසකම ඉන්ධන මිල තීරණය
කරන මිල සූත්‍රය පෙන්වාදිය හැකිය. මේ පිළිබඳව අදහස් දැක්වූ ගණිතඥයෙකු හා දාර්ශනිකයෙකු වූ
මහාචාර්ය නලින් ද සිල්වා මහතා එක්තරා මාධ්‍යයක් හමුවේ ප්‍රකාශ කළේ මෙය සූත්‍රයක් නොව
“සූත්තරයක්” වන බවයි. ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල පහළ ගියද ලංකාවේ මිල
සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල ඉහළ යයි. මහජනයාට කිසිදු අාකාරයකින් වටහාගත
නොහැකි සූත්‍රයක් වන මෙයින් මහජන විචාරශීලී බව මොට කිරීමට සමත්ව අැත. නමුත් එය ක්‍රියාත්මක
භාවයේ පවතින බැවින් යථාර්ථය වශයෙන් අත්විඳීමට මහජනයාට සිදුවේ. යථාර්ථයටත් වඩා එය හුවා
දැක්වීමට කිසිදා විසඳිය නොහැකි සූත්‍රයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් එය අධියථාර්ථයක් බවට පත්ව අැත.

එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග සමාජයේ අැතිවූ ප්‍රවණතා
දෙස විමසිල්ලෙන් බැලීමේදී බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක නොවීම බරපතල වරද ලෙස කිව හැක.
මීට පෙර මේ සම්බන්ධව කරුණු හෙළි කළ පුද්ගලයන් මර්දනය කරමින් කටයුතු කිරීම නිසා පුද්ගල
විචාරශීලී බවද මර්දනය කොට අැත. විද්‍යමාන අාකාරය අනුව ලිබියාව වැනි රටවල් අඩපණ කොට
එ්වායෙහි බලය පිහිටවූ අාකාරයට ලංකාව තුළද බලය පිහිටුවීමට අමෙරිකාව ගෙන යන උපක්‍රමයක්
ලෙස මෙම තත්ත්වය අැතමුන් අර්ථ නිරූපණය කළද, පුද්ගලයාගේ අාරක්ෂාව තහවුරු නොවීම යන
බරපතල ගැටලුවේදී මහජනයා රාජ්‍යය විසින් අකර්මණ්‍ය කර අැති ස්වභාවයක් දැකගත හැකිය. මීට
වසර ගණනාවකට පෙර තව්හිත් ජමාත් සංවිධානයෙහි ලියාපදිංචි සාමාජිකයන් ගණන 10000 ඉක්මවා
අැතැයි කරුණු හෙළිවී තිබියදීත් ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව මෙම අන්තවාදීන් ගණනින් 150 ක්
පමණ වන බව එ්ත්තු ගැන්වීමට විවිධ දේශපාලනඥයන් විශාල උත්සාහයක් දරන ලද අාකාරය දැකගත
හැකි විය. එසේ අවදානම සැඟවීමට දරන ලද උත්සාහයක් ලෙස වැටලීම්වලින් සොයාගන්නා අවි අායුධ
මාධ්‍ය මගින් පෙන්වීම තහනම් කරන ලදී. මෙය යථාර්ථය සඟවමින් වෙනත් අයථාර්ථවත් දෙයක්
යථාර්ථවත් යැයි එ්ත්තු ගැන්වීමට දරන ලද උත්සාහයක් ලෙස පෙනේ. නමුත්, මෙම උත්සාහය නිසාම
එම අයථාර්ථවත් දෙය අධියථාර්ථයක් බවට පත්ව අැත. පුද්ගලයාට යමක් දැනගැනීමේ හැකියාව අඩපණ
කොට අැති බැවින් පෙන්වන දෙය යථාර්ථය යැයි සෑහීමකට පත්වීමට පුද්ගලයාට සිදුවේ. මූලික
අවශ්‍යතා වන අාහාර, වාසස්ථාන හා අාරක්ෂාව වෙනුවෙන් අරගල කිරීමට සිදුව අැති තත්ත්වයක් තුළ
නිතැතින්ම පුද්ගල විචාරශීලී බව අඩපණ වී අධියථාර්ථයක් නිර්මාණය වී අැත.
කලා ක්ෂේත්‍රය අතින් ගත්තද අැතැම් කලා නිර්මාණ මුළුමනින්ම තාක්ෂණික නිර්මාණයන්ය. නමුත්,
ඉතාමත් ස්වභාවික දර්ශන තලවල රූගත කළ අාකාරයෙන් එ්වා නිපදවයි.

සංගීත භාණ්ඩ කිසිවකින් තොරව ලැප්ටොප් පරිගණකයක් අාශ්‍රයෙන් සංගීත භාණ්ඩවල ස්වභාවික හඬ
අනුකරණය කරන තාක්ෂණික උපක්‍රම මගින් අදාළ සංගීත භාණ්ඩ සතු දුර්වලතා පවා මඟහැර
අධියථාර්ථවත් ලෙස නිර්මාණකරණයෙහි යෙදේ.
අාහාර නිෂ්පාදන ගත් කල කෘත්‍රිම රසකාරක මගින් ස්වභාවික රසයට සමාන ලෙස නිපදවෙන අාහාර
ගත්තද මෙකී ස්වභාවය දැකගත හැකිය. උදාහරණ වශයෙන් කුකුල් මස් රසයට සමාන රසකාරක ගත්
කල අැත්තවශයෙන්ම කුකුල් මස් වල අැති රසයට වඩා බොහෝසෙයින් රසවත් ලෙස එ්වා නිපදවේ.
අැතැම් සුප් වර්ග, නූඩ්ල්ස් වර්ග රසගන්වනු ලබන කුකුල් මස් රසකාරකවල එන රසය කිසිවිටෙක
කුකුල් මස් අාහාරයට ගැනීමේදී අත්විඳිය නොහැක. මේ අාකාරයෙන්ම ළූණු රසය, සුදුළූණු රසය, චීස්,
ඉස්සන්, දැල්ලන් වැනි මාළු වර්ග අාදියෙහි ස්වභාවික රසයට වඩා රසගන්වා කෘත්‍රීමව අාහාර
නිෂ්පාදනය කරයි. දොඩම්, ලෙමන්, අඹ අාදී පළතුරු රසින් නිපදවෙන බීම වර්ග ගත්තද සැබෑ රසයට
වඩා රසවත් අාකාරයෙන් කෘත්‍රීම බීම වර්ගය නිපදවෙයි. නියම පළතුරු බීමට වඩා කෘත්‍රීම බීම වඩාත්
රසවත්ය.
ඡායාරූපකරණයේදීද මෙම ස්වභාවය දැකිය හැකිය. ඡායාරූපයකට පෙනී සිටින පුද්ගලයාගේ මුහුණේ
අාදියෙහි දැකිය හැකි අවපැහැගැන්වීම්, කැළැල් මකා දමා සංස්කරණය කරන ලද ඡායාරූප අදාළ
පුද්ගලයාගේ අනන්‍යතාවටත් වඩා උසස් අනන්‍යතාවක් හිමිකර ගනී.
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේද උත්සාහය වන්නේ අඩුපාඩු සඟවා අධියථාර්ථවත් නිමවුමකින් යමෙකු ඉදිරිපත්
කිරීමයි. ඡායාරූපයකින් දුටු අයෙකු සැබෑවෙන් දුටු විට හඳුනාගැනීම අපහසු වන්නේ මේ නිසාය.
අැතැම් නිළියන් සැබවින් දුටුවිට අදහාගත නොහැකි තරම් වෙනස් යැයි පවසන්නේ විඩම්බනයේ
ප්‍රබලතාව නිසාය. එවිට අැය සාමාන්‍යයෙන් දකින මාධ්‍යය තුළ අධියථාර්ථවත් ලෙස පෙනී සිටී.

දුරකතන මාධ්‍යය ගත් කල මුල් කාලීනව දුරකතන නිපදවූයේ අෑත සිටින අයෙකුට අැමතීමටය. නමුත්,
අද වන විට බිහිව අැති ස්මාර්ට් දුරකතන මගින් බහුකාර්යයන් ඉටු කරගත හැකිය. අැතැම් තරුණ
තරුණියන් එය දුරකතන අැමතුම් ගැනීමට හැර වෙනත් බොහෝ කටයුතු සඳහා භාවිත කරයි. අැතැම්විට
අැමතුම් ලබාගැනීමට ප්‍රමාණවත් ගිණුම් ශේෂයක් හෝ පවත්වා නොගනී. එ් හැර ඡායාරූප ගැනීම,
වීඩියෝගත කිරීම, වීඩියෝ නැරඹීම, ක්‍රීඩාවන්හි යෙදීමට භාවිත කරයි. මෙම ලිපිය සකස් කරන ලද්දේද
එවැනි දුරකතනයක භාවිතයෙන් යැයි කිවහොත් එය අද වන විට පුදුමයට කරුණක් නොවනු අැත. එ්
අනුව දුරකතනයෙන් සිදුවන ප්‍රමුඛ කාර්යය තාක්ෂණය තුළ දියව ගොස් අැත. උදාහරණයක් ලෙස
එක්තරා ස්මාර්ට් දුරකතනයක් පිළිබඳව ඉදිරිපත් කරන ප්‍රචාරක දැන්වීමක ප්‍රධාන පාඨය වූයේ, “නියම
ඔබ හසුකරගන්න ( capture the real you)” යන්නයි. ඉන් ප්‍රමුඛව ඉටුකරගත හැකි කාර්යය උසස්
මට්ටමේ ඡායාරූප ගැනීමයි. අැමතුම් ලබාගැනීම ද්වීතියීක කාර්යයක් බවට පත්ව අැත.

මේ හැර ප්‍රේමය, විරහව, ලිංගික චර්යා, අපරාධ, දඬුවම් වැනි සංසිද්ධි තුළද අධියථාර්ථවත් බවක්
විද්‍යමාන වේ.
බෝඩ්‍රිලාඩ්ට අනුව මෙම අධියථාර්ථය බිහිවීමෙහිලා තීරණාත්මකව බලපාන්නේ ජනමාධ්‍යයි. සමාජය
තුළ දකින සංසිද්ධියට වඩා වැදගත්කමක් හිමිවන්නේ මාධ්‍ය හරහා දකින සංසිද්ධියටයි.
බෝඩ්‍රිලාඩ්ගේ මෙම සංකල්පයට යමක් එක් කළහොත්, විඩම්බන ක්‍රියාවලිය තුළ යථාර්ථය ව්‍යාජය තුළ
දියවී යන බව පැහැදිලි කළ හැකිය. එනම්, ව්‍යාජ පිටපත් තුළින් මූලික රාමුව අධිනිරූපණය වීම
හේතුවෙන් මුල් අාකෘතියෙහි ලක්ෂණයන්ට ලැබෙන වැදගත්කම හීන වී යයි. ජනප්‍රිය හෝ මතුපිටට
පැමිෙණෙන්නේ ව්‍යාජය වන බැවින් එහි ලක්ෂණ ඉස්මතු වුවද එ්වා නියම ලක්ෂණ ලෙස සැලකිය
නොහැක. උදාහරණ වශයෙන් ගීතයක් ගත් කල විදග්ධ සම්ප්‍රදායේ ගීත සැඟවී ගොස් අවර ගණයේ ගීත
ඉස්මතු වන තත්ත්වයක් තුළ මතු වන්නේ එවැනි ගීතයි. එවැනි ගීත වැඩි වැඩියෙන් බිහිවන තරමට
විදග්ධ ගීතයක ලක්ෂණ සමාජයෙන් සැඟවී යයි. එබැවින් මුල් අාකෘතිය ව්‍යාජය තුළ සැඟව යන බව කිව
හැක. නමුත්, අධියථාර්ථය ගොඩනැගෙන්නේ පුද්ගල නැඹුරුතාවේ තීව්‍ර බව මත යැයි කිව හැකිය. එනම්
පුද්ගලයා යමකට අැබ්බැහි වන තරමට එය සීමාව ඉක්මවා යයි. මාධ්‍ය භාවිතයේ සීමාව හඳුනන්නා
විඩම්බනය හමුවේ මුලා නොවේ. විඩම්බනයට හසු නොවන තත්ත්වයක් තුළ අධියථාර්ථයක් අැත්තේ
නැත. එබැවින් බෝඩ්‍රිලාඩ් සඳහන් කරන අාකාරයෙන් පොදු බවකින් අධියථාර්ථය පිළිබඳව සාකච්ඡා
කළ නොහැක. එනම්, සෑම පුද්ගලයාටම මෙය අදාළ නොවේ. ඉහත සඳහන් කරන ලද ප්‍රවණතා සියල්ල
පාහේ සිදුවන්නේ පුද්ගල නැඹුරුතාව හේතුකොටගෙනය. නමුත්, මෙකී විඩම්බනයට මුලා
නොවන්නන් නැතිවාම නොවේ. සෑම කාන්තාවක්ම රූපලාවන්‍යය උපරිම අයුරින් යොදා ගන්නේ නැත.
සෑම අයෙක්ම කෘත්‍රීම අාහාරවල රසයට ගිජු වන්නේ නැත. ගීත වැනි කලා නිර්මාණ අවර ගණයේ එ්වා
බිහිවන තරමට සමාජ පිළිගැනීම සමස්ත වශයෙන් ලැබේ යැයි කිව නොහැක. එබැවින් වත්මන්
පාරිභෝගික සමාජයේ සමස්ත පුද්ගල අත්දැකීම් කෘත්‍රීමය යැයි කිව නොහැක. එනම් එය තීරණය
වන්නේ පුද්ගලයා ඊට අැබ්බැහි වන හා නොවන තරමටය. එබැවින් අවසන් වශයෙන් පාරිභෝගික
සමාජය පිළිබඳ පොදු සංකල්පයක් ලෙස ඉදිරිපත් කරන ලද විඩම්බනය හා අධියථාර්ථය පුද්ගලයාට
සාපේක්ෂ වූවක්ය යනුවෙන් බෝඩ්‍රිලාඩ්ගේ අදහස සංශෝධනය විය යුතුය.
දර්ශනය පිළිබඳ හැදෑරීමක් නොමැති පුද්ගලයාට දර්ශනය යනු අහසේ මාළිගා තැනීමකි. නමුත්, අහසින්
බිමට බැස සමාජය, සාමාන්‍ය ජනයා පිළිබඳ කරුණු ස්පර්ශ කරනු ලබන ක්ෂේත්‍රයන් දර්ශනයේ නොමැත
යනුවෙන් අයෙකු අදහස් කළහොත්, විඩම්බනය හා අධියථාර්ථය වැනි සංකල්ප හරහා දර්ශනය සමාජය
ස්පර්ශ කරන බව සහේතුකව සනාත කළ හැකි යැයි මෙයින් පැහැදිලි වනු අැත.
(ලිපිය ඉදිරිපත් කිරීමේදී කරුණු පැහැදිලි කිරීමට හා උදාහරණ ඉදිරිපත් කිරීමට පහසුවක් වශයෙන්
ඉදිරිපත් කරන ලද උදාහරණ සහ රූප කිසිදු පුද්ගලයෙකු, පුද්ගල කණ්ඩායමක්, සමාජ ප්‍රවණතාවක්
ප්‍රචාරය කිරීමට, බිඳ හෙළීමට හෝ පෞද්ගලික මතයට නැඹුරු කරගැනීමට දරන ලද උත්සාහයක්
නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි.)

You might also like